හන්තාන ප්‍රජා පාසැල් විද්‍යාගාර ඇරඹේ!

හන්තාන පසල් පරිගණක විද්‍යාගාර ව්‍යාපෘතිය තුළදි පාසල තුළ පරිගණක විද්‍යාගාරයක් ස්ථාපනය කිරීමට ඇති සැළසුම එලෙසම ඉදිරියට ක්‍රියාත්මක වන අතර ප්‍රාථමික පාසල් සඳහා පංති කාමරය තුළට පරිගණකය රැගෙන යාම නියමු ව්‍යාපෘතියක් ලෙස මලල්ගොඩ පාසැලේදි සිදු විය. ඔබේ වටිනා කාලයෙන් එක් මොහොතක් ගතකර මෙම සටහන කියවා පාසලට හන්තාන ලිනක්ස් ලබා දුන් පළමු දිනයේදීම දරුවන් ගේ ප්‍රථිචාරයන් සහ පාසැල් ගුරුමණ්ඩලය මෙන්ම දෙමාපිය අදහස් කෙරෙහි සවන් දෙන්න.

“හොදම දේ දරුන්ට” යන්න සනාථ කරමින් ගාල්ල දිස්ත්‍රික්කයේ . ඉමදූව ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශයේ හබරාදුව අධ්‍යාපන කොට්ඨායේ ගා/මලල්ගොඩ සිරිසීවලී ප්‍රාථමික විද්‍යාලයේ පලමු වසර දරුවන් සදහා අධ්‍යාපනික මෙවලමක් ලෙස හන්තාන ලිනක්ස් මෙහෙයුම් පද්ධතිය හදුන්වා දීම 2012 ජනවාරි මස 30 වන දින සිදු විය.

වසරක් පමණ වසා දමා තිබු මෙම පාසල නැවත 2012 ජනවාරි මස 16 වන දින පාසල් 1000 ව්‍යාපෘතිය තුල පෝෂිත පාසලක් ලෙස ඇරඹීම සිදුවිය . මෙම ඇරඹුම සදහා පූර්ණ දායකත්වය ප්‍රදේශවාසීන්ගෙන් සහ දෙමාපියන් ගෙන් ලැබීතිබුනි. බහුතරයක් දෙනා එදිනෙදා රැකියාවන් සහ පෞද්ගලික ආයතනවල රැකියා කරන්නන් වීම විශේෂත්වයකි. එසේම මෙහිදී දක්නට ලැබුන සුවිශේසී කරුණක් වූයේ එදිනෙදා සාමාන්‍ය කම්කරු රැකියාවක් කරන පියකු සහ විදේශ ගතව ගෘහ සේවා රැකියාවක් කර මුදල් උපයාගත් මවක ගෙන් යුත් පවුලක් විසින් මෙම පාසල සඳහා රුපියල් 12000/= පමණ වටිනා පරිගනකයක් පරිත්‍යාගකිරීමයි.

මෙහි දී එම මවගෙන් මෙම පරිත්‍යාගය පිළිබඳ කරුණුවිමසීමේ දී ප්‍රකාශ කරන ලද්දේ තම දරුවා වෙනත් පාසලකට යාමට සිදුවූවා නම් ඇයට මසකට ත්‍රිරෝද රථ ගාස්තු වශයෙන් රුපියල් 1200/=ක් පමණ වැය කිරීමට සිදුවන බවත් , වසරක දී රුපියල් 12000/= පමණ වැය කිරීමට සිදුවන බවත්ය. එබැවින් එම මුදල පරිගනකයක් මිළ දී ගැනීම සඳහා පරිත්‍යාග කර තම දරුවාට මෙන්ම අනෙකුත් දරුවන්ට ද එමගින් අධ්‍යාපනය ලබා දීමට ඉඩසලසා දීම තමාගේ අරමුණ බව පැවසූ ඇය ඒ පිළිබඳව ඉතාමත් නිහතමානීව සතුටුවන බව ද ප්‍රකාශ කලේය.

මෙවැනි දූර දර්ශී අදහස් ඇති ග්‍රාමීය ජනතාවක් මෙම පාසල හා සම්බන්ධවී සිටීම මෙම පාසල තුල හන්තාන මෙහෙයුම් පද්ධතිය ස්ථාපනය කරමින් ප්‍රාථමික අධ්‍යපනය සඳහා දායකත්වය සැපයීමට ප්‍රධාන කරුණක් විය. තවත් සමහර දෙමාපියන් දිවා කාලයේ තම එදිනෙදා සාමන්‍ය කම්කරු රැකියාව කර පසුව රාත්‍රිකාලයේ නිදිමරමින් පාසල් ගොඩනැඟිලි හා භාණ්ඩ සංවර්ධනය කිරීමට කැපවනු දැක ගත හැකිවිය.

පාසලේ ශිෂ්‍ය සංඛ්‍යාව 15 දෙනෙකු වූ අතර විදුහල්පති තුමා සහ 1ශ්‍රේණය භාර ගුරු තුමිය සමඟ ඉංග්‍රිසි විෂය සඳහා ගුරුතුමියක් ද සිටියහ. ප්‍රාථමික අධ්‍යාපනය සඳහා හන්තාන අධ්‍යාපනික මෘදුකාංග භාවිත කල පළමු දින අපට විශේෂ සිදුවීම් කීපයක් දැකබලා ගැනීමට හැකිවිය.එක් පරිගනකයක් තිබූබැවින් එදින හබරාදූව කොට්ඨාශ අධ්‍යාපන කාර්යාලයට අයත්ව තිබූ “මල්ටිමීඩියා” ප්‍රොජෙක්ටරය ආධාර කරගනිමින් දරුවනට මෙම අධ්‍යාපනික මෘදු කාංග මගින් විෂයට අදාල සංකල්ප ගොඩනැංවීම සිදුකරනු ලදී.එදින වර්ණ හදුනා ගැනීම යන සංකල්පය සංවර්ධනයට හන්තාන අධ්‍යාපනික මෘදුකාංග භාවිතා කරන ලදී.

මෙහි දී වෙනත් අවස්ථාවන්ට සාපේක්ෂව දරුවන් ඉතාමත් උනන්දුවෙන් පාඩමට සහභාගිවීම දක්නට ලැබුණි, ඉතාමත් විනෝදාත්මක ආකාරයෙන් දරුවන් පාඩමට සම්බන්ධවන අයරු දක්නට ලැබුණි. මෙම අවසථාවේ දී ගුරු තුමියගෙන් වරින් වර මෙම මෘදුකාංග භාවිතා කිරීමට ඹවුනට ද අවස්ථාව ලබාදෙන මෙන් ඉල්ලීම් කරනු දැකගත හැකිවිය. එය මෙම අවස්ථාවට සහභාගීවු දෙමාපියන් , හබරාදුව අධ්‍යාපන කොට්ඨාශ අධ්‍යාපන අධ්‍යක්ෂ තුමන් ,විදුහල්පති තුමන් ඇතුළු ප්‍රදේශවාසීන් ගේ නෙත් වලින් සතුටු කදුළු හැළුනු දසුනක් විය.

වෙනදා දිවා ආහාර වේල ආසන්නයේ දී “බඩගිනියි…..බඩගිනියි…” පවසන ලමුන් එමවේලාව පසු වුවද ඒ සඳහා දරුවන්ගේ අවධානයක් නොවී පාඩම සඳහා යෙමුවී සිටීම විශේෂ සිදුවීමක් විය.

තවද වෙනත් අවස්ථාවලට සාපේක්ෂව මෙම මෘදුකාංග භාවිතය තුලින් විෂය සංකල්ප ලබාදීම ඉතාමත් පහසු බව පංතිය භාර ගුරු තුමිය ද පැවසීය. තවද එදින දරුවන් පාසලෙන් බැහැර යන වේලාව පසුවීත් දරුවන් පංතියේ රැඳී සිටිනු දැකගත හැකිවිය.

පුධාන වශයෙන් ශිෂ්‍ය කේන්ද්‍රීය ඉගෙනුම් ක්‍රියාවලියක් පාසල් පද්ධතිය තුල ක්‍රියාත්මක වන බැවින් තනි පරිගනකයක් සහ “මල්ටිමීඩියා” ප්‍රොජෙක්ටරයක් ඒ සඳහා ප්‍රමාණවත් නොවේ. එබැවින් අඩුතරමින් ළමුන් හතර දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සඳහාවත් එක් පරිගණකයක් තිබීම අත්‍යාවශ්‍යය. අඩු ආදායම් ලාභීන් බහුතරයක් වෙසෙන මෙවැනි ප්‍රදේශවල පාසල් සඳහා දෙමාපියන්ට සහ ප්‍රදේශවාසීන්ට එම අවශ්‍යතාවයන් ඉටු කරදීමේ හැකියාවක්ද නොමැත. එබැවින් මෙවැනි පාසල් සඳහා අනුග්‍රාහකයන් ගේ දායකත්වය ඉතාමත් වැදගත් තැනක් ගනී.

පාසල් අධ්‍යාපනය ගුණාත්මක ලෙස සංවර්ධනය කිරීම රටේ සංවර්ධනයට මහත් පිටුවහලක්වේ. එබැවින් හන්තාන ලිනක්ස් මෙහෙයුම් පද්තිය යොදා ගනිමින් තොරතුරු තාක්ෂණයෙන් පාසල් අධ්‍යාපනය සංවර්ධනය කරමින් රටේ ජනතාව සවිබල ගැන්වීම හන්තාන ලිනක්ස් ප්‍රජාවේ අරමුණයි. මෙම අරමුණ වෙනුවෙන් ඔබ අප හා එක්වෙනු ඇතයි අප උදක්ම බලාපොරොත්තුවෙමු

එන්න ඒ දරුවන්ට අනාගත ලෝකයට පිවිසීමට සහය වන්න…

වලපනේ, කටන, මැදවච්චිය ප්‍රදේශ තුළ ඇති පාසැල් තුනක් තුළ ද හන්තාන ලිනක්ස් ප්‍රජාවෙන් බලගැන්වෙන පරිගණක විද්‍යාගාර නිමැවීමට අවශ්‍ය කටයුතු සූදානම් වෙමින් පවති. ගමේ දරුවන්ට තොරතුරු තාක්ෂණයෙන් අකුරු කරන්න අත්වැලක් දීමට ඔබට ද අවස්ථාව ඇත.

හන්තාන පාසැල් පරිගණක විද්‍යාගාර ව්‍යාපෘතිය සඳහා ඔබත් අදම එක්වන්න.

හන්තාන ලිනක්ස් මලල්ගොඩ ශ්‍රී සීවලි ප්‍රාථමික පාසලට හදුන්වාදිමේ විඩියෝව සහ මෙම සටහන ඔබේ නැහිතමිතුරන් අතරේ බෙදා දෙමින් මෙම ව්‍යාපෘතියට ඔබත් දානය වන්න.

විඩියෝව: http://www.youtube.com/watch?v=zTN-6e0Sa_Q

 

දැයටකිරුළ 2012 හන්තාන වැඩසටහන සාර්ථකයි!

දැයට කිරුළ 2012 අධ්‍යාපන සහ වෙළඳ ප්‍රදර්ශනයට සමගාමීව ශ්‍රී ලංකා තොරතුරු තාක්‍ෂණ ආයතනය සහ හන්තාන ලිනක්ස් ප්‍රජාව එක්ව සංවිධානය කළ නිදහස් සහ විවෘත මෘදුකාංග පිළිබඳ දැණුවත් කිරිමේ වැඩසටහන් මාලාව පෙබරවාරි මස 7 සහ 8 දෙදෙන තුළ ශ්‍රී ලංකා තොරතුරු තාක්‍ෂණ ආයතනයේ ප්‍රදර්ශන කුටිය තුළ දි සිදු කරන ලඳි.

ICTA ආයතනයෙන් තෑග්ගක්..

මේ සඳහා අති විශාල පිරිසක් එක් වූ අතර සහභාගි වුවන්ගෙන් උණුසුම් ප්‍රතිචාර  ලැබුණි.

පාසල් ළමුන්, ගුරුවරු, දෙමාපියන් මෙන්ම  රාජ්‍ය සහ පුද්ගලික අංශවල රැකියාවන්හි  නියුතු කොටස් මෙම වැඩසටහන  සමඟ එක් විය.

මෙම වැඩසටහන  අතර තුළ දි පාසැල් ගුරුවරුන් සඳහා හන්තාන ලිනක්ස් පද්ධතියේ ඇති අධ්‍යාපනික මෘදුකාංග භාවිතයෙන් කෙටි පාඩමක් තම පාසැල් දරුවන්ට කිරීමටද අවකාශ ලබා දීම විශේෂත්වයකි. එහිදි එම මොහොතේ විනාඩි 2ක් පමණ කාලයකදි අදාල මෘදුකාංගය භාවිතයට හුරුවීම මඟින් පාසැල් දරුවන්ට කෙටි පාඩමක් කිරීමට පාසැල් ගුරුවරු සමත් වූහ.

 

ප්‍රදර්ශනකුටියට පැමිණි පාසැල් ගුරුවරයෙක් පැමිණ සිටි පාසල් ළමුන් ඇතුලු පිරිසට Kalzium මෘදුකාංගය භාවිතයෙන් රසායන විද්‍යාව පිළිබඳ කෙටි පාඩමක් කරමින්…

පාසැල් දරුවන් සඳහා පාසැල් පොත් බෑග්, පෑන් වැනි තිලිණ  මෙන්ම කෙටි සංග්‍රහයක් ලබා දීම ද ශ්‍රී ලංකා තොරතුරු තාක්‍ෂණ ආයතනය විසින් සිදු කරන ලදි. එමෙන්ම හන්තාන ලිනක්ස් 15.5  DVD තැටි නොමිලේ බෙදා දීමද ශ්‍රී ලංකා තොරතුරු තාක්‍ෂණ ආයතනය විසින් සිදු කරන ලදි.

දිනකට වැඩසටහන් 3 ක් පමණ කළ හැකි යැයි මුලින් සැලසුම් කළ ද, එක් වැඩසටහනක් අවසන් වෙත්ම තවත් වැඩසටහනක් ඇරඹීමට සිදු වුයේ පසල්  සිසුන් සහ ප්‍රදර්ශනයට පැමිණි දෙමාපියන්ගේ නිදහස් සහ විවෘත මෘදුකාංග පිළිබඳ හදුන්වා දුන් වැඩසටහන් සඳහා තිබූ උනන්දුව නිසා වෙනි.

 

ගණිතමය ගැටලු ඇසුරෙන් නිමවා ඇති TuxMath ක්‍රීඩාවෙන් ජයගත් පාසල් සිසුන් දෙදෙනෙක්..

තවද, අධ්‍යාපන අමාත්‍යාංශයේ තොරතුරු තාක්‍ෂණ ශාඛාවද තම ප්‍රදර්ශනය කුටිය හරහා දෙවන වරටත් නිදහස් සහ විවෘත මෘදුකාංග හදුන්වා දීම මුළු  ප්‍රදර්ශන කාලය පුරාම  සිදු කරන ලදි.

දැයට කිරුළ ප්‍රදර්ශනය සඳහා එක් වීමට මූලික අවදියේදි සහාය දුන්  බන්දුල රණතුංග මහතාටත්, තොරතුරු තාක්‍ෂණ අමාත්‍යාංශයටත්, මෙම සියලු කාර්යයන් සාරථක කර ගැනීම  උදෙසා උරදුන් ශ්‍රී ලංකා තොරතුරු තාක්‍ෂණ ආයතනයේ අතුල පුෂ්පකුමාර, වසන්ත දේශප්‍රිය, මහේෂ් කූරගම, මලිත්, කසුන්, ප්‍රියන්ක  සහ හන්තාන කණ්ඩායමට අවශ්‍ය සියලු සම්බන්ධීකරණ  කටයුතු කරමින් හන්තාන ලිනක්ස්  කණ්ඩායමෙ සහායට එක් වූ සුජිත් ජයසූරිය මිතුරාටත් හන්තාන ප්‍රජාවේ නොමද ස්තුතිය පිරි නැමේ.

 

පැණයකට පිළිතුරු සොයමින්..

රැයක් දවාලක් නොමැතිව නිදහස් සහ විවෘත කේත මෘදුකාංග පිළිබඳ වැඩසටහන් සඳහා අති විශාල ඉරිසක් එක් ව සිටි අයුරු

දැයට කිරුල 2012 ප්‍රදර්ශනයේදි හන්තාන සමඟ විදින්න නිදහස…

64 වන නිදහස් දිනයට සමගාමීව අනුරාධපුර, ඔයාමඩුව ප්‍රදේශයේදි පැවැත්වෙන “දැයට කිරුල 2012” අධ්‍යාපන සහ වෙළඳ ප්‍රදර්ශනයේදි ,නිදහස් සහ විවෘත මෘදුකාංග  සහ හන්තාන ලිනක්ස් ව්‍යාපෘතිය පිළිබඳ දැණුවත් කිරීම සඳහා හන්තාන ලිනක්ස් කණ්ඩායම පෙබරවාරි 7 සහ 8 දෙදින තුළ ,දැයට කිරුල භූමියේදි ශ්‍රී ලංකා තොරතුරු තාක්‍ෂණ නියෝජිත ආයතනයේසහයෝගීත්වයෙන් වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට නියමිතයි.  මෙහි දී , එකවර සිය දෙනෙකුට සහභාගි විය හැකි දේශන මාලවන් පැවැත් වීම, පරිගණක තුළ ස්ථාපිත නිදහස් සහ විවෘත මෘදුකාංග භාවිතයට අවස්ථාව ලබා දීම මෙන්ම තමන්ට ඇති ගැටලු පිළිබඳ විමසීමටද අවකාශ ලැබේ.

දේශන මාලාවන් තුළදි පහත මාතෘකා පිළිබඳ දැණුවත් කරනු ලැබේ.

  • නිදහස් සහ විවෘත මෘදුකාංග
  • අධ්‍යාපනය සඳහා නිදහස් සහ විවෘත මෘදුකාංග
  • හන්තාන ලිනක්ස් ව්‍යාපෘතිය
  • නිදහස් සහ විවෘත මෘදුකාංග ව්‍යාපෘති සඳහා දායක වීම
  • ICTA ආයතනය මඟින් දියත් කළ සහ අනුග්‍රහය දැක් වූ නිදහස් සහ විවෘත මෘදුකාංග ව්‍යාපෘති

මෙලෙස නිදහස් සහ විවෘත මෘදුකාංග පිළිබඳ දැණුම ලබා ගැනීම සඳහා දැයට කිරුල ප්‍රදර්ශන භූමියේ ඇති ICTA ආයතනයේ ප්‍රදර්ශන කුටියට පෙබරවාරි මස 7 සහ 8 දිනයන් තුළ පැමිණිමට අමතක කරන්න එපා. තවද උතුරු මැද පලාත ආශ්‍රිත පාසැල් ගුරුවරුන්ට සහ සිසුන්ටත්, මෙම ප්‍රදර්ශනය බැලීමට බලාපොරොත්තු වන හිතමිතුරන්ට මේ පිළිබඳව දැන්වීමට කාරුණික වන්න.

මීට අමතරව අධ්‍යාපන අමාත්‍යාංශයෙ තොරතුරු තාක්‍ෂණ ඒකකයේ ප්‍රදර්ශණ කුටිය තුළදීද නිදහස් සහ විවෘත මෘදුකාග පිළිබඳ දැනුවත් කිරීමක් සිදු කිරීමට නියමිතයි.

දැයට කිරුල නිමිත්තෙන් හන්තාන ලිනක්ස් 15.5 නිකුත් කර ඇති අතර දැයට කිරුල ප්‍රදර්ශන භුමියේදි මෙම නිකුතුව ලබා ගැණීමට අවශ්‍ය පහසුකම් ඉක්ටා ආයතනය මඟින් සලසා ඇත. නව නිකුතුව ලබා ගැණීමට මෙම සබැඳියට පිවිසෙන්න. හන්තාන කණ්ඩායම වෙනුවෙන් ඩනිෂ්ක, බන්දුල, කල්හාර සහ හිරන්‍ය  දැයට කිරුල ප්‍රදර්ශන භූමිය තුළ දි ඔබට සහාය වනු ඇත.

හන්තාන ලිනක්ස් 15 නිකුත් වේ!

හන්තාන ලිනක්ස් ව්‍යාපෘතියේ තවත් නිකුතුවක් වන හන්තාන ලිනක්ස් 15 නිකුත් විය!. මෙය හන්තාන ව්‍යාපෘතිය යටතේ නිකුත් කළ 5 වන නිකුතුව වන අතර එහි පළමු නිකුතුව 2009 සැප්තැම්බර් මස 19 දින ජගත් නිදහස් සහ විවෘත මෘදුකාංග දිනයට සමගාමීව නිකුත් විය.

 

නොකඩවා පස්වන නිකුතුවත් නිකුත් කිරීමට අප හට හැකියාව ඇත්තේ අප හා බැදුණු ශක්තිමත් ප්‍රජාව බව නොරහසකි. හන්තාන 14 (ගගන) නිකුතුව මේ වන විට මෙරට පාසැල් 15කට අධික සංඛ්‍යාවක (පරිගණක 500කට වැඩි) භාවිත වන අතර ඉන් එක් පාසැලක් ප්‍රාථමික පාසැලක් වීමද සුවිශේෂී වේ. එමෙන්ම රුවන්පුර විද්‍යාපිඨයේ පරිගණක 80කින් යුත් පරිගණක විද්‍යාගාරයෙදි හන්තාන ලිනක්ස් භාවිතය සඳහා පහසුකම් මේ වන විට සලසා ඇත.

තවද හන්තාන පරිශීලක ප්‍රජාව සඳහා වූ ෆෝරමයද ඉතා සක්‍රීය ව ක්‍රියාත්මක වේ. එමෙන්ම පසු ගියදා නිකුත් කළ හන්තාන ප්‍රජා සඟරාව ද ප්‍රජාව වෙත තොරතුරු සහ දැණුම ගෙනයාමෙදි තවත් විශේෂ කාර්යයක් සිදු කරයි. තවද 2011 වසර තුළදි හන්තාන 14 නිකුතුව අඩංගු DVD තැටි 2000කට වඩා වැඩි ප්‍රමාණයක් ලංකාව පුරා බෙදි ගොස් ඇති අතර ප්‍රායෝගික පුහුණු වැඩසටහන් සහ දේශණ වැඩසටහන් සඳහා එක් වූ පිරිස 1000කට වඩා වැඩි වේ. එමෙන්ම ජාතික අධ්‍යාපන ආයතනයේ විවිධ දෙපාර්තුමෙන්තු තුළ පරිගණක 25 කට ආසන්න සංඛ්‍යාවක ස්ථාපිත කළ අතර කණ්ඩායම් 5කට මේ වන විට ප්‍රායෝගික පුහුණු වැඩසටහන් නිමකර ඇත. තවද ශ්‍රී ලංකා නාවික හමුදා මූලස්ථානයේදි තොරතුරු තාක්‍ෂණ අංශයේ සේවයේ නියැලෙන විවිධ නිළයන් වලට අයත් 35 දෙනෙක් තෙදින පුහුණු වැඩසටහනට එක් වුයේ හන්තාන ලිනක්ස් පදනම් කරගෙන සාමාන්‍ය කටයුතු සහ මෘදුකාංග සංවර්ධණ කටයුතු ඉදිරියට පවත්වාගෙන යාමට අවශ්‍ය දැනුම ලබා ගැනීමටයි.

අධ්‍යාපන ඇමති බන්දුල ගුණවර්ධන මහතාට අධ්‍යාපන අමාත්‍යාංශයේ තොතුරු තාක්ෂණ ශාඛා ප්‍රධානී
නීල් ගුණදාස මහතා සහ පාසැල් දෘඩාංග කණ්ඩායමේ සාමාජික බන්දුල පුෂ්පකුමාර මහතා
දැයට කිරුල 2011 ප්‍රදර්ශනයේදි හන්තාන ලිනක්ස්  හදුන්වාදෙමින්.

දැයට කිරුල 2011 ප්‍රදර්ශනයේදි, අධ්‍යාපන අමාත්‍යාංශයේ තොරතුරු තාක්‍ෂණ ශාඛාව හන්තාන 14.5 මොනරාගලදි හඳුන්වා දුන් අතර සවුත්ලන්ඩ් විද්‍යාලීය අධ්‍යාපන ප්‍රදර්ශනය, රුවන්පුර ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ තොරතුරු තාක්‍ෂණ ප්‍රදර්ශනයෙදි (පිටපත් 500 පමණ බෙදා දුනි) හන්තාන භාවිත කිරිමේ පහසු කම් සහ දැනුම ලබා දුන් අතර ප්‍රථම වරට නැණසලක් මඟින් හන්තාන ග්‍රාමීය ජනතාවට හදුන්වා දීම ධීරානන්ද නැණසල හරහා සිදු විය.

ගෝණිගොඩ ශ්‍රී පියරතන මධ්‍ය මහා විද්‍යාලයයි සිසු දරුවන් හන්තාන ලිනක්ස් මත පාසැල් ක්‍රියා කාරකම් කරමින්…

එමෙන්ම තම පාසැලේ සිසු දරුවන්ට පමණක් නොව විදුහල්පති තුමා ඇතුලු සහෝදර ගුරුමණ්ඩලයටද හන්තාන ලිනක්ස් භාවිතය පිළිබඳ ප්‍රායෝගික පුහුණුවක් ලබා දීමට තරම් හන්තාන ප්‍රජාව තුළ සිටින ගුරුවරුන් ඉදිරියට ගොස් ඇත. මේ සඳහා හොඳම උදාහරණය කටුගස්තොට අධ්‍යාපන කලාපයේ, ගෝණිගොඩ ශ්‍රී පියරතන මධ්‍ය මහා විද්‍යාලයයි.

කොළඹ විශ්ව විද්‍යාලනයේ පරිගණක අධ්‍යයන අංශය පැවැත්වූ IFO+ ප්‍රදර්ශනයෙදිද, රුහුණු විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨ ප්‍රදර්ශනයේදි ද හන්තාන ප්‍රජාව අතරට ගෙනයාම සඳහා අපට නොමිලේ ප්‍රදර්ශන කුටි ලබා දීම සහ අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් පළමු වරට නිදහස් සහ විවෘත මෘදුකාංග පාසැල් වෙත රැගෙනයාමේදි පාසැල් තොරතුරු තාක්‍ෂණ විද්‍යාගාර සඳහා හන්තාන ලිනක්ස් භාවිත කිරීම ද අප ගෞරවයෙන් යුතුව මතක් කර සිටින්නෙමු.

හන්තාන 15 මත ඇති සුවිශේෂිත්වය වන්නේ මෑතකදි හදුන්වා දුන් Gnome 3 එක් වි තිබීමය. ඔබ දන්නා පරිදි හන්තාන පද්ධතිය Fedora මත පදනම් ව ඇති අතර හන්තාන 15 නිකුතුව ෆෙඩොරා 15 මත පදනම් ව ඇත. නමුත් වැඩ තළය භාවිතයේදි ෆෙඩොරා පරිසරයට වඩා සුලු වෙනස් කම් එක් කර ඇති අතර, පිහිටුම් දැක්වීම, පද්ධතිය වසා දැමිමේදි අමතර යතුරු භාවිතයෙන් තොරවීම, පෙරනිමියෙන් තේමා භාවිතයට හැකියාව ද මේ අතර වේ. මෙවර වැඩතළය භාවිතය සඳහා උපකාරක සටහනක් සහ දමිළ භාවිතය සඳහා ඉක්ටා ආයතයෙන් ඉදිරිපත් කළ යතුරුපුවරු සැකැස්මද එක් කර ඇත.

පසුගිය දා පැවැත් වූ ඉ-ස්වභිමාණි 2011 සම්මාන උළලේදි හන්තාන ව්‍යාපෘතිය ඇගයීමට ලක් වූ බව ද සතුටින් දන්වා සිටින්නෙමු.

සුවහසක් බාධක අපහසුතා මැද අප හා මෙතෙක් කැපවිමෙන්, නන් අයුරින් සහාය දුන් ඔබ සැමට ප්‍රජාවේ උපහාරය පිරිනමනු ලබයි.

ලිනක්ස් මෙහෙයුම් පද්ධතියක් යළි-එකලස් කිරීම පහසු කටයුත්තකි, එනමුත් එය නොකඩවා පවත්වාගෙන යාම සහ ප්‍රජාව ගොඩ නැංවීම විශාල අභියෝගයකි. අපිට ලැබුණු සහ ලැබෙන සෑම අභියෝගයකින්ම අපි තව තවත් පන්නරය ලබන අතර අපි ඉදිරියටම ගමන් කරන්නෙමු !…

හන්තාන ලිනක්ස් ව්‍යාපෘතිය දෙස පිටතින් බැලු කළ එය හුදෙක් මෙහෙයුම් පද්ධතියක් ලෙස පෙනුනද, මෙහි සත්‍ය වශයෙන්ම සිදුවන්නේ ප්‍රජා සිවිබල කිරිමේ කර්තව්‍යයකි. ප්‍රජාවේ යහපත තකා ලබා දෙන මෙම ව්‍යාපෘතියේ අංගයන් සඳහා යළි ප්‍රජාවට දායක වීමට ඇති හැකියාව මඟින් ප්‍රජාවේ විවිධ වූ පිරිස් හට තොරතුරු තාක්‍ෂණය හරහා තම දැණුම සහ හැකියාවන් වර්ධනයට අවකාශ ලබා දේ.

අප රටේ තොරතුරු තාක්‍ෂණ විශේෂඥයින් මෙන්ම සාමාන්‍ය ජනතාවටද තොරතුරු තාක්‍ෂණ ප්‍රජාව සේවා සඳහා දායක විය හැකි බව අප ඔප්පු කර හමාරයි. හන්තාන 14 (ගගන) හි පෙරනිමියෙන් එන පසුබිම් රූපය ලංකාවේ වෘතීය ජායාරූප ශිල්පියකුගේ නිර්මාණයකි, පසුගිය දිනෙක කරන්දෙණිය මධ්‍ය මහා විද්‍යාලයේ තිබු තොරතුරු තාක්ෂණ ප්‍රදර්ශනයට හන්තාන නියෝජනය කරමින් ගියෙ ශාරීරික අභ්‍යාස පුහුණුකරු (PEI) ලෙස පාසැලක සේවය කරන ගුරුවරයෙකි, ඔහු පසු ගිය කාළය තුළ හන්තාන පරිශීලකයෙක් වුවද මේ වන විට හන්තාන ප්‍රජාවට වැඩසටහන් සඳහා සහභාගීම පමණක් නොව තාක්‍ෂණික ලිපි සැපයීම දක්වා ඉදිරියට පැමිණ ඇත. ඔවුන්ගෙ සේවා ස්ථාන තුළ දි තම හැකියාවන් සහ දැණුමට නිසි තැනක් සහ ඇගයීමක් නොලැබුන ද ප්‍රජා සත්කාර්යයන් වලදි ඇගයීම සහ සමජායේ පිළිගැණීම වැලක්විය නොහැකි කටයුත්තකි.

සත්‍ය ලෙසම දැනුම් කේන්ද්‍රීය මාවතක හුදෙක් ප්‍රජාවේ සුභ සිද්ධිය කරා ගමන් කරන හන්තාන ලිනක්ස් ව්‍යාපෘතිය පළමු වසරේ පාසැල් දරුවකුගේ සිට වැඩි මහලු පුද්ගලයකු දක්වා විහිදුනු පරිශීලක පරාසයකින් යුතු වේ.

හන්තාන ලිනක්ස් ව්‍යාපෘතියේ දෙවැනි වසර සැමරු මොහොත
2010 සැප්තැම්බර් 17 දින වැල්ලන්දුර රුවන්පුර ජාතික අධ්‍යාපන පීඨ භූමියේදි.

තෙවැනි වසර ගත කරන හන්තාන ව්‍යාපෘතියේ මීළඟ නිකුතුව හන්තාන 16 (ධරණි) වන අතර එය 2012 වසරේ නිකුත් කිරීමට නියමිතයි.

අවසන් වශයෙන්.. අපේ මූලික ඉලක්කය වනුයේ නිදහස් විවෘත මෘදුකාංග පිළිබඳ අප රටේ ජනයා දැනුවත් කිරීම සහ භාවිතය ඉහළ නැංවීමයි. 2012 වසරේ දි මෙම කාර්යයන් තව දුරටත් වර්ධණය කිරීමට බලාපොරොත්තු වන බව සතුටින් දන්වා සිටින්නෙමු.

 

ආශ්‍රීත සටහන්:

හන්තාන පළමු නිකුතුව – සිරස නිවුස්ට් ෆස්ට් පුවත් තුළින් (2009 සැප්තැම්බර් මස 20 දින රාත්‍රී 7.00)

http://www.youtube.com/watch?v=ZpMYZXFa0jc

Sunday Times පුවත්පතේ ලිපිය

http://www.sundaytimes.lk/110731/Magazine/sundaytimesmirror_05.html

ලිනක්ස් මඟින් පාසල් පරිගණක විද්‍යාගාර බලගැන්වේ!

මීට වසර දෙකකට පෙර නිල වශයෙන් ආරම්භ කෙරුණු හන්තාන ලිනක්ස් ව්‍යාපෘතිය සිය මූලික අරමුණු කරා දැන් ළඟා වෙමින් සිටී. මේ සම්බන්ධ විශේෂ සිදුවීමක් මැතකදි සිදු විය. මෙතෙක් අප රටේ පාසල්  පද්ධතිය තුළ පරිගණක මෙහෙයුම් පද්ධති ලෙස භාවිත කරනු ලැබුවේ බලපත්‍ර ලබා ගත යුතු මෙහෙයුම් පද්ධති වූ අතර බහුතරයක් පරිගණක තුළ ස්ථාපනය කොට තිබුණේ එවැනි බලපත්‍රවලින් තොර ව්‍යාජ පිටපත් ය.

මෑතක දී අධ්‍යාපන අමාත්‍යාංශය ලබා දුන් පරිගණක විද්‍යාගාර 9 තුළ හුදෙක් හන්තාන ලිනක්ස් පමණක් භාවිත කරමින් පාසල් අධ්‍යාපන කටයුතු ආරම්භ කර ඇත. නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක වන මෙම කාර්යය සඳහා පරිගණක 200කට අධික සංඛ්‍යාවක් භාවිත වේ. තව ද පාසල්වල පරිගණක විද්‍යාගාර සඳහා අවශ්‍ය උපකරණ ලබා ගැනීමට ලෝක බැංකු ආධාර මත ප්‍රතිපාදන ලද තවත් පාසල් කිහිපයක්ම ඉහත දැක්වූ ආකාරයටම පරිගණක විද්‍යාගාර සඳහා ලිනක්ස් මෙහෙයුම් පද්ධතිය භාවිත කිරීමට තීරණය කර ඇත. මෙලෙස මෙහෙයුම් පද්ධතියට සහ අනෙකුත් මෘදුකාංග සඳහා යන මුදල් ඉතිරි කර ගැනීමෙන් අදාළ පාසල් කිහිපයට තවත් අමතර වාසියක් අත් වී ඇත. එනම් අනවශ්‍ය ලෙස බලපත්‍ර සහිත මෘදුකාංග මිලදි ගැනීමට වැය කෙරෙන මුදල් ඉතිරි කරගනිමින් පාසල් පරිගණක විද්‍යාගාරයේ පරිගණක ජාලය ද මනාව නිම කරගැනීමට හැකියාව ලැබීමයි.

අම්බලන්ගොඩ ධර්මාශෝක, ගාල්ල රිච්මන්ඩ්, මාතර සුජාතා බාලිකා, ගම්පහ බණ්ඩාරනායක, රත්නපුර ෆර්ගසන් උසස් බාලිකා, ගම්පොල සහිරා, අම්පාර උදයගිරි සහ මැදවච්චිය මෛත්‍රිපාල සිරිසේන යන විද්‍යාල සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය මගින් හන්තාන ලිනක්ස් පමණක් භාවිත වන පරිගණක ලබා දී ඇත. එමෙන්ම ගම්පොල වික්‍රමබාහු පාසල ඇතුළු තවත් පාසල් කිහිපයක්ම  මෙලෙස හන්තාන භාවිත කිරීම ආරම්භ කර තිබේ.

දැනට මෙලෙස හන්තාන ලිනක්ස් පමණක් තම පරිගණක මත භාවිත කරන පාසල් පරිගණක සංඛ්‍යාව 250කටත් වඩා වැඩි වේ.

මෙම මෙහෙයුම් පද්ධතිය යොදාගනිමින් පාසැල් අධ්‍යයන කටයුතු කරගැනීම සඳහා අවශ්‍ය ගුරු පුහුණු වැඩසටහන් මේ වන  විට ආරම්භ කර ඇත. අදාළ පුහුණු වැඩසටහන් සම්බන්ධීකරණය අධ්‍යාපන අමාත්‍යාංශයේ තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ  ශාඛාව  මගින් සිදු කරනු ලැබේ. එම වැඩපිළිවෙලේ කොටසක් වශයෙන් අධ්‍යාපන කලාපවලින්  තෝරාගත් පාසල්වල ගුරු භවතුන්ට  ජාතික අධ්‍යාපන ආයතනය තුළ දි පුහුණුව ලබාදෙන ලදී.


රත්නපුර ෆර්ගසන් උසස් බාලිකා විද්‍යාලීය නව පරිගණක විද්‍යාගාරය හන්තාන ලිනක්ස් මඟින් බල ගැන්වීම, එම විද්‍යාලයේ තොරතුරු තාක්‍ෂණ විශය හදාරන පාසැල් සිසුවියන් විසින්ම සිදු කෙරිණි.

මෙම මෙහෙයුම් පද්ධතිය යොදාගනිමින් පාසැල් අධ්‍යයන කටයුතු කරගැනීම සඳහා අවශ්‍ය ගුරු පුහුණු වැඩසටහන් මේ වන විට ආරම්භ කර ඇත. අදාළ පුහුණු වැඩසටහන් සම්බන්ධීකරණය අධ්‍යාපන අමාත්‍යාංශයේ තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ ශාඛාව මගින් සිදු කරනු ලැබේ. එම වැඩපිළිවෙලේ කොටසක් වශයෙන් අධ්‍යාපන කලාපවලින් තෝරාගත් පාසල්වල ගුරු භවතුන්ට ජාතික අධ්‍යාපන ආයතනය තුළ දි පුහුණුව ලබාදෙන ලදී.

ලිනක්ස් නිසා විසඳෙන අපේ ගැටලු

ඇතැම් විට කිසියම් ආයතනයක් වෙතින් පරිත්‍යාග වශයෙන් නොමිලේම නිසි බලපත්‍ර සහිත මෙහෙයුම් පද්ධති ලැබුණ ද පසු කලෙක එම පද්ධතිය අලුත් වෙද්දී එහි නව වෙළුමක් ස්ථාපනයට ඉඩක් නොලැබේ. මන්ද අදාළ නව වෙළුම මිල දී ගැනීමට අවශ්‍ය මුදල් අදාළ පාසැල සතුව නොමැති වීමයි.

එමෙන්ම බලපත්‍ර සහිත මෘදුකාංග මිල දී ගත්තද වෛරස වැනි හානිකර මෘදුකාංගවලින් වන ආපදා එලෙසම පවතී. ඒවායින් මිදීමට නම් තවත් මෘදුකාංග මිල දී ගත යුතු ය. එහෙත් ලිනක්ස් පද්ධති තුළ වෛරස වැනි හානිකර මෘදුකාංගවලින් හටගන්නා අපදා ඉතා අවම බැවින් ද නවතම ආරක්ෂණ විධිවිධාන (security updates) නොමිලේ අන්තර්ජාලය ඔස්සේ ලබාගත හැකි බැවින් ද සුරක්ෂිත බව තවත් තහවුරු වෙයි.

සාමාන්‍ය ලිනක්ස් පද්ධතියක් සමග මෘදුකාංග ඉතා විශාල ප්‍රමාණයක් ලැබෙන අතර ඒ සියල්ල විනාඩි 30කට අඩු කාලයකදි එකවර ස්ථාපනය කරගත හැකි ය.

පාසල් සඳහා ලැබෙන බහුතරක් පරිගණක විද්‍යාගාර සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ලැබෙන්නේ විදේශ ණය ආධාර මගිනි. නමුත් බලපත්‍ර සහිත මෘදුකාංග සඳහා අප යොමුවිමෙන් සිදුවන්නේ අප ණයට මුදල් ගෙන යළිත් එම මුදල් බහුජාතික සමාගම් වෙත පූජා කිරීමයි. එපමණක් නොවේ. නොමිලේ ලැබෙන ලිනක්ස් මෙහෙයුම් පද්ධති හරහා ලබදෙන මෘදුකාංගවල ගුණාත්මකභාවය ද ඉතා ඉහළ මට්ටමක පවතී .

සංවර්ධනය වෙමින් පවතින රටක් වන ශ්‍රී ලංකාවට විදේශ ණය ආධාර මගින් ලැබෙන මුදල් බහුජාතික සමාගම් වෙත යළිත් ලබා දීමෙන් තොරව, ගුණාත්මක හා සකසුරුවම් දේ තෝරාගනිමින් රටේ මුදල් ඉතිරි කිරීම සඳහා මෙවැනි ප්‍රායෝගික මාර්ග පාදාගැනීම ජාතික වැදගත්කමක් උසුළන කරුණකි.

ධර්ගා නගරයේ ජාතික අධ්‍යාපන විද්‍යාපිඨයේ හන්තාන ලිනක්ස් වැඩසටහන

අලුත්ගම ධර්ගා නගරයේ පිහිටි ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ දී දෙදින හන්තාන ලිනක්ස් හඳුන්වාදීමේ වැඩසටහනක් පසුගිය 11 සහ 23 වැන දෙදින පුරා පැවැත්විණි.  මේ වැඩසටහන සඳහා යාපනය, අම්පාර, පුත්තලම, මඩකලපුව, සහ ධර්ගා නගරය යන ප්‍රදේශවලින් පැමිණ එම ආයතනයේ අධ්‍යාපනය ලබන සිසුවියෝ විසි දෙනෙක් සහ ඔවුන්ගේ ආචාර්ය මණ්ඩලයේ ගුරු මහත්ම මහත්මීන් කිහිප දෙනෙක් සහභාගී වූහ.

මෙම වැඩසටහනේ විශේෂත්වය වන්නේ මෙතෙක් දමිළ මාධ්‍යයෙන් අධ්‍යාපනය ලද සිසුන් පිරිසක් සඳහා කළ පළමු වැඩසටහන මෙය වීම යි. මෙම වැඩසටහනේ දී ලිනක්ස් හදුන්වාදීම, ස්ථාපනය, අධ්‍යාපනික සහ කාර්යාලීය මෘදුකාංග භාවිතය වැනි කොටස්වලට අමතරව මෘදුකාංග සංවර්ධන අංශය කෙරෙහි ද වඩා වැඩි අවධානයක් යොමු කෙරිණි.  විශේෂයෙන් ම ලිනක්ස් මත C++, Java, HTML වෙබ් පිටු නිර්මාණය වැනි කරුණු මෙන් ම ලොව බහුලව භාවිත වන වෙබ් සේවාදායකය වන ඇපාචී (Apache) වෙබ් සේවාදායකය භාවිතය ද මෙහි දී ආවරණය කරන ලදි.  මීට අමතරව ජාල සැකසුම් කළමනාකරණය සහ පරිශීලක  කළමනාකරණය වැනි අංශ ද සාකච්ඡා කෙරණි.

මෙම වැඩසටහනේ තවත් සුවිශේෂි කාරණයක් නම් පළමු දින අධ්‍යයන කටයුතුවලට අදාළ හන්තාන මෙහෙයුම් පද්ධතියේ ඇති  කොටස් පිළිබඳ  පුද්ගලිකව විමසා සහ තාක්‍ෂණික කරුණු සපුරාගෙන පැහැදිලිකර ගත් ආචාර්ය මණ්ඩලයේ සාමාජික දෙපළක් දෙවැනි දින වැඩසටහනට පෙර වැඩසටහනට අදාළ MySQL වැනි පාඩම් කොටස් සිසුවියන්ට ඉගැන්වීමට තරම් උද්‍යෝගීමත් වූහ.

මෙම වැඩසටහන පුරාම වැඩසටහන සංවිධානය කළ රිස්කාන් මහතා සහ එම ආයතනයට සේවය ලබාදෙන  ජයිකා ආයතනයේ නියෝජිත අසුකා ටොමියමා මෙනෙවිය ද  අගනා සහායක් ලබා දුන් අතර ගුරුවරුන්ගේ සහ සිසුවියන්ගේ උනන්දුව නිසා ඉතා වැඩි පරාසයක කොටස් ආවරණය කළ හැකි විය. වැඩසටහනින් පසුව සිසුවියන් සඳහා පාසැල් සිසුන්ට මෙම දැනුම ලබා දෙන ආකාරය ඇසුරින් පැවරුමක් ලබා දීමට රිස්කාන් මහතා කටයුතු කිරිම මෙම වැඩසටහනට තවත් විශේෂත්වයක් එක් කළේ ය. 2012 වසරේදි සිමාවාසික පුහුණුව ද  2013 වසරේදි පාසැල් සඳහා පත්වීම් ද ලැබීමට නියමිත මෙම ශිෂ්‍යාවන් යාපනය, මඩකලපුව, අම්පාර සහ පුත්තලම වැනි දුරස්ථ ප්‍රදේශ කරා නිදහස් සහ විවෘත මෘදුකාංග (FOSS) පිළිබඳ පණිවිඩය ඉතා විධිමත් ව ගෙන යනු ඇත. යාපනය ප්‍රදේශයේ නිදහස් හා විවෘත මෘදුකාංග පිළිබඳ වැඩසටහන් පැවැත්වීම සඳහා ඔවුන් අවසානයේ අපට ඇරයුම් කිරීම ද මෙහි අවශ්‍යතාව මැනැවින් තේරුම්ගත් බවට මනා සාක්‍ෂියකි.

එම සිසුවියන්ට අනාගතය ජය ගැනීමට අපෙන් සුබ පැතුම්!

අධ්‍යාපන ඇමතිගෙන් පැසසුම්!

පසුගිය පෙබරවාරි 4 වැනි දින සිට පුරා දින 7ක් බුත්තල දී පැවැත්වුණු දැයට කිරුළ 2011 අධ්‍යාපනික සහ වෙළඳ ප්‍රදර්ශනයේ දී අධ්‍යාපන අමාත්‍යාංශයේ තොරතුරු තාක්‍ෂණ ඒකකය විසින් හන්තාන ලිනක්ස් හදුන්වා දීම සිදු කරන ලදි. අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රදර්ශන කුටි වෙත පැමිණි අධ්‍යාපන ඇමති බන්දුල ගුණවර්ධන මහතාට තොරතුරු තාක්‍ෂණ ඒකකයේ ප්‍රධානී අධ්‍යාපන අධ්‍යක්‍ෂක නීල් ගුණදාස මහතා විසින් හන්තාන ලිනක්ස් මෙහෙයුම් පද්ධතිය අධ්‍යාපන කටයුතු සඳහා වැදගත් වන අයුරු පැහැදිලි කෙරුණු අතර


සහකාර අධ්‍යාපන අධ්‍යක්‍ෂක එම්.ඩි.ආර්. අමරනායක මහතා සමග නිදහස් සහ විවෘත මෘදුකාංගවල අවශ්‍යතාව පිළිබඳ ඉතා දීර්ඝ සංවාදයක නියැළී සිටි අධ්‍යාපන අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ උපදේශක ඔමාරේ කස්සප හිමියෝ ද මෙම ව්‍යාපෘතිය කෙරෙහි අවධානය යොමු විය යුතු බව ප්‍රකාශ කළහ.


මෙම ප්‍රදර්ශන කුටිය අධ්‍යාපන අමාත්‍යාංශයේ තොරතුරු තාක්‍ෂණ එකකය මඟින් ඉදිරිපත් කෙරුණු අතර ඊට ප්‍රාථමික අංශයේ දරුවන්ට ලබා දෙන OLPC (One Laptop Per Child) ලැප්ටොප් පරිගණකය, අන්තර්ක්‍රියාකාරි සුදු තිරය, පරිගණක දෘඪාංග එකතුවක් මෙන් ම රැහැන් රහිත ජාලයක් ඇතුළු පාසැල් දරුවන් සහ ගුරුවරුන්ට අවශ්‍ය වටිනා තොරතුරු රැසක් ද එක් කොට තිබිණි.

එහි දී අධ්‍යාපනික, ඉංජිනේරු, කෘෂිකර්ම, නාවික සහ කළමණාකරන වැනි විවිධ ක්‍ෂේත්‍රවලට අයත් පිරිස් හන්තාන ලිනක්ස් කෙරෙහි අවධානය යොමු කළහ. තවත් විශේෂත්වයක් වන්නේ සිය මිතුරන්ට හන්තාන ලිනක්ස් හදුන්වා දීමට සහ DVD iso ගොනුව ගෙනයාමට සමහර පිරිස් පසු දින දෙවැනි වරටත් මේ කුටියට පිවිසීම යි.


මෙම ප්‍රදර්ශන කුටියේදි හන්තාන ලිනක්ස් 14.5.2 බෙදාහරින ලඳි.

මීට අමතරව බුත්තල සහ මොණරාගල අධ්‍යාපන කලාපවල තොරතුරු තාක්‍ෂණ ගුරුවරුන් සඳහා ප්‍රායෝගික වැඩසටහන් ඉදිරි දිනවල දී සිදු කිරීමට නියමිතයි.

අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේදි හන්තාන ලිනක්ස් දෙසුමක්

අද දින අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ පැවති තොරතුරු තාක්‍ෂණ දින උළෙලේ දී හන්තාන ලිනක්ස් පිළිබඳ සැසියක් පැවැත්විණි.

එහි දී අධ්‍යාපනික හා මෘදුකාංග සංවර්ධන කටයුතු සඳහා හන්තාන ලිනක්ස් භාවිත කළ හැකි අයුරු පිළිබඳව පාසැල් සිසුන් දැනුවත් කිරීම සිදු වූ අතර ඉදිරි දිනෙක දී එම විද්‍යාලය තුළ හන්තාන ලිනක්ස් පිළිබඳ විශේෂ වැඩසටහනක් පැවැත්වීමට ද නියමිත ය.

සවුත්ලන්ඩ්ස් බාලිකාවෝ හන්තාන ලිනක්ස් ප්‍රජාවට එක් වෙති!

පසුගිය 2011 ජනවාරි මස 25 දින සිට 29 වැනි දින දක්වා ගාල්ල සවුත්ලන්ඩ්ස් විද්‍යාලයේ 125 වැනි සැමරුමට සමගාමීව පැවති අධ්‍යාපනික ප්‍රදර්ශනයේ දී එම විද්‍යාලයේ තොරතුරු තාක්‍ෂණ ඒකකය හන්තාන ලිනක්ස් හදුන්වාදීමට කටයුතු කළේ ය. මෙහි දී හන්තාන ලිනක්ස් 14.5 DVD තැටි 300කට වඩා ප්‍රදර්ශනයට පැමිණි අය අතරේ නොමිලේ බෙදා දීම ද විශේෂත්වයකි.

මෙම ප්‍රදර්ශන කුටියට පාසැල් සිසුන්, රාජ්‍ය සහ පුද්ගලික ආයතනවල සේවය කරන අයට අමතරව ගාලු කොටුව ආශ්‍රිත කටයුතුවල නියැළි ඕලන්ද ජාතිකයෝ ද පැමිණියහ.  මෙලෙස පළමු දිනයේ පැමිණි හෙල්මර් නම් වූ ඕලන්ද වැසියා ඔහු ලබාගත් හන්තාන ලිනක්ස් පිටපත ස්ථාපනය කළ පරිගණක යන්ත්‍ර 8ක් ශී ලංකාවේ පාසැලකට එවන බව කියා සිටියේ ය.

මීට පෙර කිසිදු දිනෙක ලිනක්ස් භාවිත නොකළ සිසුවියෝ දස දෙනෙක් හන්තාන ලිනක්ස් කණ්ඩායම විසින් ඔවුන් වෙනුවෙන් ම පවත්වනු ලැබූ එක් දින වැඩසටහනකින් ලද දැනුමෙන් සන්නද්ධ ව මෙසේ ප්‍රදර්ශන කුටිය තුළ ගාලු පුවරයේ ජනයාට නිදහස් සහ විවෘත මෘදුකාංග හඳුන්වාදීමේ යෙදුණහ.

පාසැලක් මෙසේ නිදහස් සහ විවෘත මෘදුකාංග හදුන්වා දෙමින්, හන්තාන ලිනක්ස් මෙහෙයුම් පද්ධතිය ප්‍රජාව අතරට ගෙනයාම හන්තාන ලිනක්ස් ප්‍රජාවට තවත් ශක්තියකි.

මේ සද්කාර්යය වෙනුවෙන් කැප වූ සවුත්ලන්ඩ්ස් විද්‍යාලයීය තොරතුරු තාක්‍ෂණ ඒකකයේ ආචාර්ය මහත්මීන්ට හා සිසුවියන්ට අපේ ස්තුතිය! ඉදිරියේ දී තවත් මෙවැනි කටයුතු සාර්ථක අන්දමින් සිදුකිරීමට ශක්තිය හා ධෛර්යය ලැබේවා යි අපි ප්‍රාර්ථනා කරන්නෙමු!

හන්තාන ලිනක්ස් 14.5 නිකුත්වෙයි!

හන්තාන ලිනක්ස් ව්‍යාපෘතියේ තවත් වැදගත් ඉදිරි පියවරක් සනිටුහන් කරමින් හන්තාන ලිනක්ස් නවතම නිකුතුව අද, 2011 ජනවාරි 10 වැනිදා උදැසන නිල වශයෙන් නිකුත් විය. මේ සම්න්ධ මුල් ම හඳුන්වා දීමේ සැසිය කොළඹ පොලිස් මූලස්ථානයේ දී තොරතුරු තාක්ෂණ කොට්ඨාසය භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලියු. එෆ්. යූ. ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

හන්තාන 14.5 දැන් ම ලබාගන්න!

අතිවිශාල මෘදුකාංග ප්‍රමාණයක් එක වර ස්ථාපනය කරගැනීමේ පහසුව සලසමින් DVD තැටියක් ලෙස මෙවර හන්තාන ඔබ අතට පත් වෙයි. ඔබේ කාර්යාලීය, ග්‍රැෆික්, බහුමාධ්‍ය, අධ්‍යාපනික, මූල්‍ය කටයුතු, ඉලෙට්‍රොනික, පරිගණක ක්‍රීඩා හා මෘදුකාංග සංවර්ධන අවශ්‍යතා සපුරාලන මෘදුකාංග සමූහයක් ම මේ DVD තැටියට ඇතුළත් ව තිබේ. එසේ ම මිනුම් පරිවර්තනය කිරිමේ සරල යෙදුමක සිට උසස් ආරක්ෂණ ක්‍රමවේදයන් හා පද්ධති කළමනාකරණ යෙදුම් දක්වා පුළුල් පරාසයක පහසුකම් මෙහි අන්තර්ගත ය.

එමෙන් ම නවකයින්ගේ පහසුව තකා ස්ථාපන උපදෙස් සහ හන්තාන පිළිබඳ නිති ඇසෙන පැන මූලික වැඩතලයට(desktop) එක් කර තිබිම සුවිශේෂ වේ. මේ සටහන් හන්තාන මෙහෙයුම් පද්ධතිය සමග එන ෆයර්ෆොක්ස් ගවේෂකය මගින් ද නැරඹිය හැකි ය.

වෙනත් විශේෂාංග

ශ්‍රව්‍ය හා දෘශ්‍ය සංස්කරණ කටයුතු (audio and video editing) සඳහා අවශ්‍ය නවීනතම හා ජනප්‍රියතම මෘදුකංග වන Audacity, Pitivi, Me TV , RecordMyDesktop

ග්‍රැෆික්, ඡායාරූප හා වෙනත් ඩිජිටල් නිර්මාණ කටයුතු සඳහා GIMP (කලින් තිබ්බා ) Blender, Inkscape, Shotwell, Scribus, 2D CAD සඳහා QCad

තවද පොඩ්කාස්ට් බාගැනීම හා කළමනාකරණය සඳහා භාවිත කළ හැකි gPodder

පරිශීලකයින්ගේ පහසුව ඉහළ නංවමින් එදිනෙදා සන්නිවේදනය සඳහා භාවිත වන Skype මෙන්ම දුර සිට පරිගණක මෙහෙයවීම සඳහා යොදාගැනෙන TeamViewer ඇතුළු පහසු සන්නිවේදන මෘදුකාංග ගණනාවක් ද පෙරනිමියෙන් ම ඇතුළත් කර තිබීම මෙහි තවත් විශේෂත්වයකි.

වෙබ් ආශ්‍රීත සංවර්ධන කටයුතු සඳහා අවශ්‍ය වන mysql database server, apache php සහ phpmyadmin මෙහි අඩංගු ය. එසේ ම වෙබ් අඩෙවි නිර්මාණය සඳහා Kompozer සහ Geany ද NFS සේවාදයකය ද (network file sharing) මේ නිකුතුව සමඟ ලබාදේ.

පද්ධතියේ ආරක්ෂාව ගැන සැලකිලිමත් වෙමින් Firewall [1] පහසුකමට අමතරව SELinux [2] ආරක්ෂණ පහසුකම එක් කර ඇත.

හන්තාන ලිනක්ස් තිරපිටපත්