අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේදි හන්තාන ලිනක්ස් දෙසුමක්

අද දින අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ පැවති තොරතුරු තාක්‍ෂණ දින උළෙලේ දී හන්තාන ලිනක්ස් පිළිබඳ සැසියක් පැවැත්විණි.

එහි දී අධ්‍යාපනික හා මෘදුකාංග සංවර්ධන කටයුතු සඳහා හන්තාන ලිනක්ස් භාවිත කළ හැකි අයුරු පිළිබඳව පාසැල් සිසුන් දැනුවත් කිරීම සිදු වූ අතර ඉදිරි දිනෙක දී එම විද්‍යාලය තුළ හන්තාන ලිනක්ස් පිළිබඳ විශේෂ වැඩසටහනක් පැවැත්වීමට ද නියමිත ය.

සවුත්ලන්ඩ්ස් බාලිකාවෝ හන්තාන ලිනක්ස් ප්‍රජාවට එක් වෙති!

පසුගිය 2011 ජනවාරි මස 25 දින සිට 29 වැනි දින දක්වා ගාල්ල සවුත්ලන්ඩ්ස් විද්‍යාලයේ 125 වැනි සැමරුමට සමගාමීව පැවති අධ්‍යාපනික ප්‍රදර්ශනයේ දී එම විද්‍යාලයේ තොරතුරු තාක්‍ෂණ ඒකකය හන්තාන ලිනක්ස් හදුන්වාදීමට කටයුතු කළේ ය. මෙහි දී හන්තාන ලිනක්ස් 14.5 DVD තැටි 300කට වඩා ප්‍රදර්ශනයට පැමිණි අය අතරේ නොමිලේ බෙදා දීම ද විශේෂත්වයකි.

මෙම ප්‍රදර්ශන කුටියට පාසැල් සිසුන්, රාජ්‍ය සහ පුද්ගලික ආයතනවල සේවය කරන අයට අමතරව ගාලු කොටුව ආශ්‍රිත කටයුතුවල නියැළි ඕලන්ද ජාතිකයෝ ද පැමිණියහ.  මෙලෙස පළමු දිනයේ පැමිණි හෙල්මර් නම් වූ ඕලන්ද වැසියා ඔහු ලබාගත් හන්තාන ලිනක්ස් පිටපත ස්ථාපනය කළ පරිගණක යන්ත්‍ර 8ක් ශී ලංකාවේ පාසැලකට එවන බව කියා සිටියේ ය.

මීට පෙර කිසිදු දිනෙක ලිනක්ස් භාවිත නොකළ සිසුවියෝ දස දෙනෙක් හන්තාන ලිනක්ස් කණ්ඩායම විසින් ඔවුන් වෙනුවෙන් ම පවත්වනු ලැබූ එක් දින වැඩසටහනකින් ලද දැනුමෙන් සන්නද්ධ ව මෙසේ ප්‍රදර්ශන කුටිය තුළ ගාලු පුවරයේ ජනයාට නිදහස් සහ විවෘත මෘදුකාංග හඳුන්වාදීමේ යෙදුණහ.

පාසැලක් මෙසේ නිදහස් සහ විවෘත මෘදුකාංග හදුන්වා දෙමින්, හන්තාන ලිනක්ස් මෙහෙයුම් පද්ධතිය ප්‍රජාව අතරට ගෙනයාම හන්තාන ලිනක්ස් ප්‍රජාවට තවත් ශක්තියකි.

මේ සද්කාර්යය වෙනුවෙන් කැප වූ සවුත්ලන්ඩ්ස් විද්‍යාලයීය තොරතුරු තාක්‍ෂණ ඒකකයේ ආචාර්ය මහත්මීන්ට හා සිසුවියන්ට අපේ ස්තුතිය! ඉදිරියේ දී තවත් මෙවැනි කටයුතු සාර්ථක අන්දමින් සිදුකිරීමට ශක්තිය හා ධෛර්යය ලැබේවා යි අපි ප්‍රාර්ථනා කරන්නෙමු!

හන්තාන ලිනක්ස් 14.5 නිකුත්වෙයි!

හන්තාන ලිනක්ස් ව්‍යාපෘතියේ තවත් වැදගත් ඉදිරි පියවරක් සනිටුහන් කරමින් හන්තාන ලිනක්ස් නවතම නිකුතුව අද, 2011 ජනවාරි 10 වැනිදා උදැසන නිල වශයෙන් නිකුත් විය. මේ සම්න්ධ මුල් ම හඳුන්වා දීමේ සැසිය කොළඹ පොලිස් මූලස්ථානයේ දී තොරතුරු තාක්ෂණ කොට්ඨාසය භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලියු. එෆ්. යූ. ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

හන්තාන 14.5 දැන් ම ලබාගන්න!

අතිවිශාල මෘදුකාංග ප්‍රමාණයක් එක වර ස්ථාපනය කරගැනීමේ පහසුව සලසමින් DVD තැටියක් ලෙස මෙවර හන්තාන ඔබ අතට පත් වෙයි. ඔබේ කාර්යාලීය, ග්‍රැෆික්, බහුමාධ්‍ය, අධ්‍යාපනික, මූල්‍ය කටයුතු, ඉලෙට්‍රොනික, පරිගණක ක්‍රීඩා හා මෘදුකාංග සංවර්ධන අවශ්‍යතා සපුරාලන මෘදුකාංග සමූහයක් ම මේ DVD තැටියට ඇතුළත් ව තිබේ. එසේ ම මිනුම් පරිවර්තනය කිරිමේ සරල යෙදුමක සිට උසස් ආරක්ෂණ ක්‍රමවේදයන් හා පද්ධති කළමනාකරණ යෙදුම් දක්වා පුළුල් පරාසයක පහසුකම් මෙහි අන්තර්ගත ය.

එමෙන් ම නවකයින්ගේ පහසුව තකා ස්ථාපන උපදෙස් සහ හන්තාන පිළිබඳ නිති ඇසෙන පැන මූලික වැඩතලයට(desktop) එක් කර තිබිම සුවිශේෂ වේ. මේ සටහන් හන්තාන මෙහෙයුම් පද්ධතිය සමග එන ෆයර්ෆොක්ස් ගවේෂකය මගින් ද නැරඹිය හැකි ය.

වෙනත් විශේෂාංග

ශ්‍රව්‍ය හා දෘශ්‍ය සංස්කරණ කටයුතු (audio and video editing) සඳහා අවශ්‍ය නවීනතම හා ජනප්‍රියතම මෘදුකංග වන Audacity, Pitivi, Me TV , RecordMyDesktop

ග්‍රැෆික්, ඡායාරූප හා වෙනත් ඩිජිටල් නිර්මාණ කටයුතු සඳහා GIMP (කලින් තිබ්බා ) Blender, Inkscape, Shotwell, Scribus, 2D CAD සඳහා QCad

තවද පොඩ්කාස්ට් බාගැනීම හා කළමනාකරණය සඳහා භාවිත කළ හැකි gPodder

පරිශීලකයින්ගේ පහසුව ඉහළ නංවමින් එදිනෙදා සන්නිවේදනය සඳහා භාවිත වන Skype මෙන්ම දුර සිට පරිගණක මෙහෙයවීම සඳහා යොදාගැනෙන TeamViewer ඇතුළු පහසු සන්නිවේදන මෘදුකාංග ගණනාවක් ද පෙරනිමියෙන් ම ඇතුළත් කර තිබීම මෙහි තවත් විශේෂත්වයකි.

වෙබ් ආශ්‍රීත සංවර්ධන කටයුතු සඳහා අවශ්‍ය වන mysql database server, apache php සහ phpmyadmin මෙහි අඩංගු ය. එසේ ම වෙබ් අඩෙවි නිර්මාණය සඳහා Kompozer සහ Geany ද NFS සේවාදයකය ද (network file sharing) මේ නිකුතුව සමඟ ලබාදේ.

පද්ධතියේ ආරක්ෂාව ගැන සැලකිලිමත් වෙමින් Firewall [1] පහසුකමට අමතරව SELinux [2] ආරක්ෂණ පහසුකම එක් කර ඇත.

හන්තාන ලිනක්ස් තිරපිටපත්

සුභ නව වසරක් වේවා

ලබන්නා වූ නව වසර සියලු ශ්‍රී ලාංකිකයින්ට සහ ලෝක වාසීන්ට සතුට සාමය සපිරි නව වසරක් වේවායි හන්තාන ලිනක්ස් සමූහය ලෙස අපි ප්‍රාර්ථනය කරන්නෙමු. නව වසර තුළ ප්‍රබෝධයෙන් යුතුව ඔබේ නිදහස් සහ විවෘත මෘදුකාංග ආශ්‍රිත කටයුතු කරගැනීමට අවශ්‍ය ශක්තිය, ධෛර්යය, වාසනාව ලැබේවා.

එමෙන්ම හන්තාන ව්‍යාපෘතිය,  ප්‍රජාව වෙත එහි නවතම නිකුතුව නොබෝ දිනකින් නිකුත් කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව සතුටින් දන්වා සිටිමු.

හන්තාන ලිනක්ස් ඇරඹෙයි

වසරකට අධික කාලයක් තිස්සේ කෙරුණු අත්හදා බැලීම්වලින් පසු හන්තාන ලිනක්ස් ව්‍යාපෘතියේ පළමු අදියර පසුගිය දා සම්පූර්ණ කෙරිණි. හන්තාන ලිනක්ස් මෙහෙයුම් පද්ධතිය දැන් සියලු පරිගණක පරිශීලකයින්ගේ භාවිතය උදෙසා අන්තර්ජාලය ඔස්සේත්, හන්තාන ප්‍රජාවේ ස්වේච්ඡා සම්පත් දායකයින් වෙතිනුත් ලබාගත හැකි ය.

හන්තාන ලිනක්ස් යනු කුමක් ද? එය කාට ද?

හන්තාන ලිනක්ස් යනු සුප්‍රකට Fedora මෙහෙයුම් පද්ධතිය සම්මිශ්‍රණය කරමින් සකස් කළ ලිනක්ස් මෙහෙයුම් පද්ධතියකි. අන්තර්ජාල පහසුකම් අඩු පරිශීලකයින්ට, පාසැල් සිසුන්ට හා ගුරුවරුන්ට සහ අවම තාක්ෂණ හුරුවක් ඇති අයට පවා ඉතා පහසුවෙන් තම පරිගණක වැඩකටයුතු ඉටු කරගැනිමේ අවකාශ විවර කර දීමේ අරමුණින් හන්තාන ලිනක්ස් මෙහෙයුම් පද්ධතිය සම්පාදනය කර තිබේ.

Fedora වෙතින් ලැබෙන සියලු පහසුකම්, මෘදුකාංග හා ගුණාංග සියල්ල හන්තාන පද්ධතිය සතු වෙයි. ඊට අමතර ව කාර්යාලයීය, අධ්‍යාපනික, බහුමාධ්‍ය හා ග්‍රැෆික් අවශ්‍යතා සපුරාගැනීමට අවශ්‍ය මෘදුකාංග ගණනාවක් හන්තාන සමග කෙලින් ම ඔබ වෙත ලැබේ. සාමාන්‍ය PC එනම් i686 අකෘති වර්ගයේ පරිගණක සඳහා සැකසූ සජීව තැටියක (Live CD) ස්වරූපයෙන් හන්තාන ඔබ වෙත එයි. දෘඪ තැටියෙහි ස්ථාපනය කිරීමට පළමු ව ඔබට කෙලින් ම මේ සජීව තැටිය මගින්, මෙම මෙහෙයුම් පද්ධතියේ සියලු පහසුකම් ක්‍රියාත්මක කර පිරික්සා බැලීමට පුළුවන.

Fedora වෙතින් ලැබෙන සියලු විශේෂ පහසුකම්වලින් සමන්විත හන්තාන, ඊට අමතර බහුමාධ්‍ය කේතක ගණනාවක් ද පෙරනිමියෙන් ම ඇතුළත් කරගනී. එහෙයින් (MP3 වැනි) ඕනෑ ම බහුමාධ්‍ය අන්තර්ගතයක් සේ ම DVD ආදිය ද කෙලින් ම ධාවනය කිරීමේ පහසුකම හන්තාන සතු ය. හන්තාන බාගැනීමේ දී ඔබට Fedora මෙහෙයුම් පද්ධතියේ නවතම නිකුතුව මෙන් ම RPM Fusion සහ Livna මෘදුකාංග කෝෂ්ටාගාර ද ලැබෙන හෙයින් වෙනත් අමතර පිරියම් කිරීමක් අවශ්‍ය නො වේ. සැකෙවින් කියතොත්, හන්තාන ස්ථාපනය කළ සැණෙකින් ඔබේ කාර්යාලයීය, බහුමාධ්‍ය, ග්‍රැෆික්, අධ්‍යාපනික හා විනෝදාත්මක යන සියලු අංශවල අවශ්‍යතා සපුරාලීමෙයි සමත් වෙයි!

හන්තාන වේගවත් හා සැහැල්ලු ඩෙස්ක්ටොප් පරිසරයක් වන XFCE භාවිත කරන හෙයින් අවම බලයක් සහිත පරිගණකයක් වුව ද වේගවත්ව ධාවනය කිරීමට සමත් වන අතර ඔබේ දෘඪ තැටියේ ඉඩකඩ ද සුරකියි.

හන්තාන ඔබ අතට පත් වනුයේ සපුරා ම නොමිලේ හා නිදහස් ව බැවින් එය පිටපත් කිරීමට හා අන්‍යයන් සමග බෙදාහදාගැනීමට ඔබට සම්පූර්ණ නිදහස හිමි වේ.

හන්තාන ප්‍රජාව

හන්තාන ලිනක්ස් මෙහෙයුම් පද්ධතිය සම්පූර්ණයෙන් ම ප්‍රජා නිෂ්පාදිතයකි. හන්තාන ව්‍යාපෘතිය වටා ගොනු වෙමින් තාක්ෂණික, භාෂාමය හා වෙනත් නානා විධ අංශයන්ගෙන් ස්වේච්ඡා දායකත්වය ලබා දෙන උද්‍යෝගීමත් ප්‍රජාව එහි ප්‍රධානතම ශක්තියයි. හන්තාන ලිනක්ස් භාවිත කරමින්, එහි සංවර්ධනයට පෙරළා දායක වෙමින් ඔබට ද එම ප්‍රජාවේ සාඩම්බර සාමාජිකයකු විය හැකියි!

හන්තාන ලිනක්ස් පිළිබඳ ඔබේ ගැටලුවලට විසඳුම් හන්තාන ලිනක්ස් ෆෝරමය හා #hanthana irc චැනලය ඔස්සේ ඉතා ඉක්මනින් ලබාගැනීමට පුළුවන.

වැඩි විස්තර සඳහා දැන් ම ප්‍රධාන හන්තාන ලිනක්ස් වෙබ් අඩෙවිය hanthana.org පිවිසෙන්න.